Jan 10, 2016

අනුන්ගෙ කෙහෙම්මල් අස්සේ අතදාන්න ගිහිං

අනුන්ගේ කෙහෙම්මල් අස්සෙ අත දාන කතාව ඔයාල හැමෝම දන්නවනෙ නෙද? කෝකටත් මම ආයම ලියන්නම් ඒක ලේසියි නෙ?

ඔන්න එක් තරා එක කළෙක හිටියළු එක මිනිහෙක් හරිද?
දැන් ඉතිං "හ්ම්" කියන්න ඕනි. "ඉතිං අපට මොකෝ කියලා අහන්නෙ නැතුං හොඳේ..අපේ ඉතිහාසය සර් වගේ මතෘකාවෙන් පිට පනින්නෙ නැතුව මම ආයම කතාවට එන්නම්කෝ.

අපි එයාට නමක් දාමුකෝ හරමානිස් කියලා.දවසක් එයාට යාලුවෙක් මුණ ගැහුනලු. මෙන්න දෙබස

හරමානිස්:හලෝ මචං . උඹ 'කුරුසයෙක්' වුණාද?
යාලුවට තේරුණා මොකද්ද අහන්නෙ කියලා
ගිරිගෝරිස්:ඔව් බං මම 'කැතලික්" වුණානෙ?
හරමානිස්:මම දැනගත්තා උඹ 'චර්ච්' එකක් බෙල්ලෙ එල්ලන් ඉන්න කොට
ගිරිගෝරිස්:මටත් ආසයි බං කුරුසයෙක් වෙන්න..
යාලුවට හිතුන එන පොට හොඳ නැහැ කියලා
ඉතිං යාලුවා කිව්වා දවසක් දෙකක් අපි චර්ච් ගිහිල්ල බලමුකෝ කියලා. ඉතින් යාලුවා කිව්වා පල්ලියට ගිහින් "ප්‍රේ ' කරන්න කියලා මේ ගොය්යා දන්නවය ඕවා.
හරමානිස්: අනේ  මම ඕව ඉතිං දන්නෙ නැහැනේ?
ගිරිගෝරිස්:මොනවත් ඕනි නැහැ. ගිහින් අනිත් අය කරන දෙවල් බලල පොඩ්ඩක් ඉගෙන ගන්න බලපං. පස්සෙ ගිහින් අපි ෆාදර් හම්බුවෙමු
ගිරිගෝරිස් ඉතින් සැදැහැ සිතින් පල්ලියට ගියා කියමුකෝ මෙන්න බොලේ වැඩේ. ලස්සන ලස්සන ගැහැණු උදවිය ලස්සන ලස්සන ඇඳුම් ආයිත්තම් ඇඳගෙන හරි අගේට මොන මොනවදෝ කියනවා. ඒ මදිවට නැගිටිනවා වාඩිවෙනවා. ඔය මැදැයි ඉතින් මෙයාට වට පිට බල බල ඉන්නකොට දැක්ක එක්තර එක් බවලතෙක්ගෙ ගවුමක් එයා නැගිටින කොට ම්.ම්.ම්.ම් එයාගෙ "ප..ස අස්සේ" ගිහින්..
ඉතින් ගිරිගෝරිස් හෙමින් සැරේ ඇඟිළි තුඩු දාලා අර හිරවුණු ගවුම එළියට ඇද්දා.මොකක් වෙන්න ඇත්ද? ලැබුණා කම්මුල ඉදිමෙන්නම  පාරක්
ඉතින් යාලුවට ගිහින් සිද්ධිය කිව්වම " උඹ මොකටද අනුන්ගේ කෙහෙම්මල්. ඒවා ඒ විදිහට තියෙන්න අරින්න එපාය? කිව්වළු
ඊළඟ දවසෙත් එයාටම ඒ දේම උණාලු. ඉතින් ගිරිගෝරිස් ඊයෙටත් වඩා හෙමින් ගවුම අර දෙබලෙන් එළියට ඇද්දමළු එයාට මතක් වුනෙ අර යාලුවගේ උපදේසේ 
අනුන්ගෙ කෙහෙම්මල් මොකටද මම ආපහු මම ගවුම තිබ්බ විදිහටම හදනව කියලා මෙයා ගවුම හදන්න හැදුවළු..
හවස යාලුවා කම්මුල් දෙකම ඉදිමිලා තියෙනවා දැකලා
"උඹව නම් හදන්නම බැහැ බං හෙට පුතාවත් එක්ක පළයං. හැබැයි උඹේ ඇඟිළි තියන දිහාව  පරිස්සමින්" කිව්වළු අනුන්ගෙ ගැහැනු දිහා එහෙම බලන්නම එපා කිව්වළු.
එදා හවස යාලුවව මුනගැහෙන්න ආවලු හරමානිස්. මූන පුරා අතේ පයේ තුවාල  එක්ක ඉන්නවළු කෙඳිරි ගගා ගිරිගෝරිස්.
හරමානිස්:මොනවද බං මේ කරගත්තේ ' ශික් ශික් මම හිතුවෙ නැහැ උඹ මේ පුතා ඉස්සරහත් ඕ වගෙ පහත් වැඩ කරයි කියලා. අනික පල්ලියෙදිත්
ගිරිගෝරිස්: මම මුකුත් කළේ නැහැ බං අද ගවුම හිර වුන තැනින් ඇද්දෙ පුතා. ඉතින් මම ඒක ආපහු දාන්න හදනකොටම කට්ටියම එකතු වෙලා නෙළුවා බන්. මට කතා කරන්නවත්  හම්බුන්නෙ නැහැ කිව්වලු.
ඒ වගෙ අනුන්ගේ කෙහෙම්මල් අස්සෙ අත දාන්න ගිහින් මටත් ගුටි කන්න වෙයිද මන්ද..
මදුමාධවී කවි පන්තිය ගැන කියන්නම් කෝ මම දැන්

දන්නවනෙ ඔයාලා අපේ මධු මාදවී ලස්සන කවි පන්තියක් ලියලා එයා කෝක ලිව්වත් ලස්සනට ලියනවනේ ඇති කරන්න ගත්තු හා පැටියෙක් ගෙ ආවසානය ගැන ලියලා තියෙන්නෙ, හුඟාක් ආදරෙන් හදල ඒ වගේම ඌ වදයක් වුණු හැටි අපූරුවට සිත්තම කරලා. එයාගෙ  පෝස්ට් එකෙ ලින්කුවත් මම මේ ගමන්ම  පහළින් එකතු කරනවා, නොදුටු අයට බලන්න
lසමාවෙයං පුත මට
මෙන්න ඉතින් මගේ කමෙන්ට් එක එයාට ලිව්ව
හරිම අගනා කවි පෙළක්.. ඔබේ දුක නොදැණාම නොවේ. කොන්ක්‍රීට් වනයෙ හිරවුණු මියගිය හා පැටියා වෙන්න මටත් හිතුණා.එයාගෙ ඇහින් අපේ ලෝකයයි මේ..

සද්දෙට බයයි කොළ හෙල්ලෙන වෙලාවට
නෙත් දෙක සරයි බිය වද්දෙන..... කලාවට
යුද්ධෙට නොවෙයි දුව යන්නෙද ..ගුහාවට
ඇත්තම තමයි ගෙට එන්නෙද ....."පිඟානට"

දුවගේ තුරුලෙ මම හුරතලයේ ඉන්නම්
ඇකයේ රැඳිලා රස පදවැල් අහගන්නම්
පුතුගේ රුදුබවේ කෙණිහිලි විඳ ගන්නම්
මෙමගේ හුරු ලෙසේ හැම තැන බෙටි ලන්නම්

දත කට මදින්නට හැම දෙය හැපුවා කියා
කුමකට බනින්නෙද එය මගෙ හුරුව නියා
සතුටට දුවන්නට එහෙ මෙහෙ යන්න කියා
කෝමට හිතන්නට මේ ගෙයි ඉඩද.... මෙයා

තිබහට වතුර කෑමට දෙය සොයා යමී
නවතින තැනක හිත උඳු පියලියද කමී
තනිකම මකන ඇය ළඟ ජීවිතය ....දෙමී
හුරුලෙස මටම හිතු හිතු තැන බෙටිද ලමී

කූඩුව මටද මට හිමි නැති රුදුරු ලොවේ
කීවට කවුද අසනුයේ නිදහසද නොවේ
"මානන බැලුම්" මිය යන බව දනිමි දැවේ
කීමට දහස් දෙය ගොළු කර ගනිමි මුවේ

මිනිසා දිනෙක වැසුවළු වනපෙත්.... මැද්දේ
කවදා කොහොම ආවද මෙහෙමත්... සද්දේ
රවටා අපිව ගෙනවිත් දෙන වද..... ලද්දේ
බෙටිලා තැනක මිනිසුනි මොකටද සද්දේ

ගහ කොල අහස ගඟ දිය .....වාසනාවන්
පැනයමි දුවමි නිදහස මට...... මනාවන්
සූසැට ඇතත් මිනිසුනි නෙක..... කලාවන්
නොදනිද මියෙන එක අගෙ මැද ප්‍රියාවන්

සඳවත මැද්දේ රුව මැව්වේ අගෙම .......නිසා
බණ පද මැද්දේ ඔබ හිටියේ එයම.......... අසා
හිමිකර ගත්තේ කිම ඉන්නෙම් දෙනෙත....... වසා
කුමකට යුද්ධේ නැත්තේ මට හිතෙද .... තොසා

මිහිකත හිමිය සමතැන හැමටම ඇත්තේ
කොටුකර ගන්න ඔබ හට අවසර නැත්තේ
වනසිරි හැරිය දුක ඇත්නම් ඔබෙ සත්තේ
යමි අපි එකට ඉමු සමගිව වන මත්තේ

අම්මෝ මගේ කවි කමෙන්ට් එකට  තිබුණු  රිප්ලයි ගොඩ..

Replies

  1. haapatiyo,
    oyaage kavi pdhaval ethaamath agei.
  2. විශිෂ්ටයි සහෝදරී !!!

    මධුවගෙ කවිටිකයි මේකයි අල්ලල යනවා එකෙම්ම !!!!
  3. මම මදුවගේ කවිය දකින්න කලින් මේක කියෙව්වේ. විශිෂ්ටයි හංසමාලි!!!
  4. මං වෙනුවෙන්, මේ වෙනුවෙන්, මේ තරම් දිග කවි පංතියක් ලියපු එකම ඇති හංසි. මට මේ වෙලාවෙ උවමනා සැනසීම සෑහෙන්න ලැබුණා. බොහෝම...........පිං. අපිට අහිමි වුණු හාවා ආයි ආවෙ නැතත්, මේ නිර්මාණ හරහා ඌ අපි අතර ඉදීවි හැමදාම. මං හිතන්නෑ, මනුස්සයෙක් ගැන මේ තරම් සංවේදී කවි ලියවේවි කියලා. හාවෙක්ගෙ මනසට සාපේක්ෂව මිනිස් මනස් යොදුන් ගානක් ඉදිරියෙන්. ඒ වුණාට මේ එක අහිංසක පුංචි හාවෙකුට පුළුවන්, නපුරු මිනිස්සුන්ගෙ ප්‍රතිපත්ති වෙනස් කරන්න, අගනා නිර්මාණ බිහිකරන්න, මිනිස්සු බර ගාණක් කතා කරන මාතෘකාවක් මවන්න. ඒත්, ඒ වෙනකොට, ඒ අහිංසකයා ගිහිං ඉවරයි...............................
  5. ගහ තරු මල් සත්තු ඉර හඳ ගැන කවි ලියන මං සත්තු මොනම හේතුවකටවත් කොටු කරනවට කැමති නැහැ.අපි එයාලව හුරතලේට ඇති කරනව. කෑමට ගන්නවා. බෙර හදනව. විද්‍යාගාර පරීකෂන වලට ගන්නවා. මැරුණම හරි මරලා හරි පුළුං පුරවලා අලංකාරෙට තියෙනවා. මානව හිමිකම් වගෙ සත්ව හිමිකම් සංගම තියෙනව නම්?ණැතිනම් එයාලට කතා කරන්න පුළුවනි නම්?මනසි උසස් යයි කියන මිනිසට එහෙම අයිතියක් දුන්නෙ කවුද මන්ද

Jan 7, 2016

~~කොහාගේ කූඩුවෙ කාක් පැටියෙක්~~

මේ පොස්ට් එකෙ  පලවෙනි දෙවෙනි කොටස් බලලම මේ පොස්ට් එක කියෙව්ව නම් තේරෙයි අළුතෙන් එන අයට  ලින්ක් දෙකම මෙතන තියෙනවා . මේ තුන් වෙනි කොටස හොඳේ
ලින්ක් දෙක
1. මහ රෑ කාමරයට ආ අමුත්තා 1
2. මහ රෑ කාමරයට ආ අමුත්තා 2



ලොකු දූ. ඊයේ මම අප්පච්චි හීනෙන් දැක්කා.. මුතියන්ගනේට ගිහින් එමුද? අම්මා ඇහුවා..
"හා අම්මා කීයටද යන්නේ? ... "
"දැන් ලෑස්තිවෙන්න.."
අම්මි මමත් එන්නම්? ඇහුවෙ නංගි
ඔයා මහත් වෙන්නෙ නැතුව ඉන්න. ඔයාට අද ක්ලාස් නෙ? මල්ලි කිව්වා.
"ඔයා ඉන්නකෝ කට වහගෙන.. තවම 'ඕ ලෙවල්' වත් නැතුව" නංගි උත්තර දුන්නෙ. දැන් දෙන්නටම පන්සල් කතාව මතක නැහැ. 
මම ඉතින් උනන්දුවෙන් ලෑස්ති උනා..සීතලම සීතල වතුරෙන් ඇඟ හෝදගත්තා.....උණු වතුර උණු කර කර පරක්කු වෙන්න බැහැ හිතුන නිසා..

පිච්ච ,වතුසුද්ද , රෝස මල් ටිකක් කඩාගෙන... ඉක්මනින් ලැහැස්ති උනා මම.. ( කවදත් පන්සල් යන්න ආසයි... ගාථා නොකීවත් බොධියට වැඳගෙන උඩ තියෙන  බෝ අතු දිහා ඔහේ බලන් ඉන්න මම කවදත් ආසයි.... පැදකුණු කරලා බෝධියට පැන් වත් කරන්න ආසයී...හැමදාම මට වටේ යන කොට කියන ගථා ටික අමතක වෙනවා..වරද්ද වරද්ද ගාථා කියලා පැන් කලේ බොධියට වත් කරන්න පුන්චි කාලෙ වගේම මම තාම ආසයි..පයින් ගිහින් බස් එකේ ගිහින් අපි මුතියන්ගනේට ගියා..වන්දනා නඩයක් ඇරෙන්න කවුරුත් නැහැ..මගෙම පන්සල... නැට්ට එක්ක රතු නෙළුම් මල් දෙකක් මම ගත්තා සල්ලි වල්ට.. පොඩි කාලේ ඉඳන් පුරුද්දක්..අපි වැඩි කතාවක් නැතිව පන්සලට ගියා.. පුරුද්දට මම අලි බඳින පැත්ත බැලුවා... එකෙක්වත් නැහැ අද... පෙරෙහැර කාළෙ නෙවිනෙ? මට හිතුනා.. 
පෝය දවසට සෙනෙග පිරිලා... මම හෙමින් මවා ගත්තා... මිනිස්සු තැන තැන හිටගෙන කතා කරනවා.. සමහරු වාඩි වෙලා ඉන්නවා.. සිල් අරගෙන..මල් අරගෙන තව කට්ටියක්...හැබැහින් දකිනවට වඩා .. මවා ගන්න එක වටිනවා කවදත් මට...එතකොට ඒක මගේම චිත්‍රයනේ?
මහ බොළඳ අදසක් උනත් මගෙ නමින් සුදු නෙළුම් මල් දෙකක් මගේ සොහොන ළඟ තියෙනවා කියල විශ්වාශයෙන් මැරෙන්න ඇත්නම් කියලා මට හුඟක් වෙලාවට හිතෙනවා..
නැට්ට පිටින් සුදු නෙළුමක් සොහෙනේ තියල සුසුමක් නොහෙලා යන්න කෙනෙක් ඇත්නම්.. කොච්චර එකක්ද?... මම මැරෙන දවසක එච්චර දෙයක් කරන්න තරම් කෙනෙක් මා ළඟ මා එක්ක ඉඳීවිද?
චෛත්‍ය පැදකුණුකරලා මල් පූජ කරලා මල් ආසනේ උඩින් ලියල තියෙන කවියයි ගාතාවයි අපි හඬ නගා කියෙව්වා.....
 

පන්සලත් එක්ක අපේ ජීවිත හුඟක් බැඳිල තියෙන්නෙ.... අපි දුකටත් සතුටත් වෙනසකටත් ප්‍රශ්නෙකදිත් ගියේ පන්සල්..පාඩම් කරන්න බැහැ හිතුනම පන්සල් යන්නේ. විභාගෙකට කළින් යන්නෙ පන්සල්. විභාගෙට පස්සෙ යන්නෙ පන්සල්

"ලොකු දූ බෝධියට යමුද?"  "ද? " පාවිච්චි කළාට ඒක හැමතිස්සෙම විධානයක්!
අපි හෙමින් ඇවිදගෙන ගියේ පහන්  වැට ළඟට.. හීන් පොද වැස්සක් එක්ක හුළඟ...
අපි අරන් ගිහිපු කොළ වලින් පහන් සුද්ද කරන්න පටන් ගත්තා.. හැමදාම වගේ....
"මම මේ කොනෙන් පත්තු කරන්නම්.. ඔයා එහා පැත්තෙන් පටන් ගන්න.." අම්මා කිවා.. කවදත් වගේ..
 අප්පච්චියි මායි හැමදාම එහා කොනේ ඉඳන් පහන් පත්තු කරනවා මට මතක් උනා..
පුන්චි සතුටක් එක්ක දුකක් මට අප්පච්චි මතක් උනාම ආවේ..අපි පන්සල් ආපු හැටි එකතු වෙලා පහන් පත්තු කරපු හැටි...
අප්පච්චිගේ සුළඟිල්ලේ එල්ලිලා වැල්ලේ මම උඩ පැන පැන ගිය හැටි,,,
සත් සතිය තියෙන කුටියෙ කලුවරේ .. සීතල නාගයගෙ කට ඇතුලට අත දාන්න අප්පච්චි මාව උස්සන හැටි..යන ගමන් පාර දිගෙ කඩල අයිස්ක්‍රීම් කන හැටි මට මතක් වුනා..
මම පහන් පූජ කරලා... අම්ම ළඟට ගියා... අම්මා පහන් පත්තු කරල ඉවරයි...
මම අම්මගේ ඇස් දෙක දිහා බැලුවා.. ඒ ඇස් රතු වෙලා ඇති වග දැනගෙනම...
වැඩිවෙලා ඇස් දිහා බැලුවොත් අපි අඬයි කියලා හිතුණු නිසා 
මම අම්මා පත්තු කරල තිබ්බ පහන් දිහා බැලුවා...
එතන තිබ්බේ හතරයි... හතරම හතරයි.... අම්මා. අප්පච්චි.  නංගි. මල්ලි........හැමෝම වෙනුවෙන් එක ගානෙ.එතකොට මං? අනේ මං?

මෙච්චර කාළෙකට පස්සෙත් අම්මට තාම මම පිටස්තරයෙක්ද? කුඩම්මා කියලා කවදාවත් නොහිතපු මගේ හිතින් ඈත් නොකරපු මගේම අම්ම කියල මම හිතන් ඉන්න අම්මට මම තාම අනිත් කසාදෙ.. තාත්තගෙ අනිත් කසාදෙ දරුවද?
කවදත් මට " ලොකු දූ" කියලා කතා කරපු අම්මගෙ හිතේ හ්ම්ම්..... කුඩම්මගෙ හිතේ මට ඉඩක් නැතිද?
 පවුලෙ මම පිටස්තරයක්ද තාමත්?
අද වගේම එදත් මම කොහෙකුගේ කූඩුවක කාක් පැටියෙක්ද?
මම හෙමින් හැරිලා මම පත්තු කරපු පහන් දිහා බැලුවා..අප්පච්චියි මායි එතන ඉඳන් පහන් පත්තු කරනවා මට මැවිලා පෙනුනා....

ඒ එක්කම මට මතක් උනේ අප්පච්චි එතන ඉඳන් අම්මා පහන් පත්තු කරන තාලේ බලන් හිටපු හැටි.... අප්පච්චිට ඕනි වුනේ මෙතෙන්ට එන්නද?
අම්මත් එක්ක පහන් පත්තු කරන්නද අප්පච්චිට ඕනි උනේ?ඉස්සරත් අම්මා පත්තු කළේ පහන් හතරද?අනේ හතරමද?


මම අහස දිහා බලලා ඉන්දික දෙය්යොන්ගේ ඉල්ලුවා අනේ දෙය්යනේ හය්යෙන් වස්සන්න.... ගොරොව ගොරොව වස්සන්න මගේ හිතේ ඉකිය කාටවත්ම නෑහෙන්න කියලා.
හෝ ගාලා වැක්කෙරෙන කඳුළු වැල් හංගගන්න කාටවත් නොදැනී හංගගන්න දෙය්යොන්ට පුළුවන් වෙන්න ඇති මං හිතන්නෙ.. එදා ඉඳලා මම පන්සල් යන්නම ආස නැහැ, ආසම නැහැ.